April 19, 2008

මැරතන් අවසන්! (දැන් හති අරිමු)

මැරතනයට ලියන අවසාන සටහනයි මේ...

පැය විසිහතරක්‌ ලියනවා කියන්නෙ, සෙල්ලම් නෙමෙයි... (24ක්‌ හිටියෙත් නැහැ ගොඩක්‌ අය, මම නම් පැය 5ක විතර නින්දක්‌ දැම්මා)
ඒත් කට්‌ටිය එක්‌ක චැට්‌ කර කර ලියනකොට කාලය ගෙවෙනවා දැනුනෙත් නෑ වැඩිය.

සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදයට ස්‌තූතී මේක සංවිදානය කලාට.
වෙනදාට හුදෙකලාව වෙබ් පිටු පුරා කුරුටු ගාන අපි, අද එකතු වෙලා ගොඩක්‌ විනෝද වුනා... තනියෙන් හිස්‌ අහසට ලියනවාට වඩා මෙහෙම එකතු වෙලා වැඩක්‌ කරනවිට ඒකෙ අගේ වැඩී...
බ්ලොග් පිටුවක්‌ පමණක්‌ දැකල තිබුන අය එක්‌ක අද කතා කරලා හඳුනගත්තා... චැට්‌ එකේ සමහරු නම් බයිට්‌ වුනා ලු, අනිත් අය හිටු කියල බයිට්‌ කලා ලු.. සමහරු වතුර ගහන්න ආවලු, තවත් සමහරු තනියෙන් ඇදගෙනම නෑව ලු.

විශේශයෙන් දුර රටක තනි වෙලා ඉද්දි, මේ වගේ වැඩ වෙන එක ගැන බොහොම සතුටුයි, පාළුව මැකෙන්නත් එක්‌ක. අනිත් ප්‍රශ්න ඔක්‌කොම අමතක කරල දාලා දවසම හොඳට විනෝද වුනා, ඒ ගමන් ම මාස තුනක්‌ තිස්‌සෙ ලිව්වට වැඩිය එක දවසින් ලියන්නත් හැකි වුනා.

මුල් පැය කීපය රේඩියෝව පවත්වාගෙන ගිය අයියලාටත් තුති!

ජන කවි - 3

අන්තිම පැයෙත් ජන කවි කීපයක්‌ දාන්න හිතුනා.
'අළුත් අවුරුදු' බ්ලොග් මැරතන් නිසා, රබන් පද හොඳයි වගේ.

මොනරුන් දෙන්නෙක්‌ පිල් විදහාගෙන ඉර සේවය කරතෙයි
ඉඳන් බිම - ඉර සේවය කරතෙයි
කපුටන් දෙන්නෙක්‌ ඒක බලාගෙන කාක්‌ කාක්‌ කියතෙයි
උඩ ඉඳ - කාක්‌ කාක්‌ කියතෙයි

සඳුන් කැලේ අපි යන කොට රිළව් පනිනවා
එක රිළවෙක්‌ බඩ බැඳගෙන පිණුම් ගහනවා
තක තෙයි පිණුම් ගහනවා
තක තෙයි පිණුම් ගහනවා

බුබුල් බුලත් මම ගත්තා
තුට්‌ටු දෙකට මම වික්‌කා
තුට්‌ටු දෙකට ගත්ත බුලත්
සල්ලි හතට මම වික්‌කා

තරඟ ප්‍රතිපල

මෙය ලියන්නට පටන් ගත්තේ වරුණ අයියගෙ මෙම සටහනට පිලිතුරක්‌ වශයෙන්. (ඒක දැක්‌ක වෙලේ පටන් ගත්තට, අමතක වුනා නෙ!)

මේ මම ඔහුගෙ සටහනට එක්‌ කෙරූ අදහස, (එතනින් පටන් ගන්නම්කො)

"ඇත්ත, රූපවාහිණිය, චිත්‍රපට, අළුතෙන් එන සින්දු, මේ හැම දේකින්ම පෙන්වන්නෙ වෛරය, ද්වේශය විතරයි.. දයාව, කරුණාව වැනි මිනිස්‌ ගති ගුණ වලට දැන් තැනක්‌ නැති තරම්."

කෙනෙකුට තවත් කෙනෙක්‌ රුස්‌සන්නෙ නැහැ, තමන්ගෙ පවුලෙ අයට, හිත මිතුරන් ට, නන්නාඳුනන අයට කියා කිසි වෙනසක්‌ නැහැ. ඉවසීමක්‌ නැහැ, අනුන් කෙරේ දයාවක්‌ අනුකම්පාවක්‌ කියා අදහසක්‌ නැහැ. අපි හැමෝම මිනිස්‌සු නෙ, හැමෝගෙම අතින් අතපසුවීම් සිදු වෙනවා, හැමෝටම වරදිනවා, කියලා හිතන්නෙ නැහැ. පොඩ්ඩ එහා මෙහා වුන පමණින් අනෙකාගෙ ඇඟට කඩන් පනින තත්වයක තමයි බොහෝ දෙනා ඉන්නෙ. ඇත්තටම හරි හැටි ඇවිදින්නත් කලින් ඉඳන් මහා තරඟෙකට දුවන්න පුරුදු වුනාම, එහෙම මානසිකත්වයක්‌ ගොඩ නැගෙන එක ගැනත් පුදුම වෙන්න දෙයක්‌ නැහැ. ඇයි, පොඩි කාලෙ ඉඳන් තියෙන්නෙ 'අරයට වැඩිය මම හොඳ වෙන්න ඕන, මෙයාට වැඩිය මට ලැබෙන්න ඕන' කියන අදහස නෙ. පුංචි කාලෙ ඉඳන්ම පුරුදු කරන්නෙ වැඩි වැඩියෙන් ලබා ගන්න මිස, මනස දියුනු කරන්න නෙමෙයි නෙ.

කෝ ඔබ අද ?

සුහද සිතක්‌ සිටියා ලඟ පෙර දිනෙක
දුක සැප බෙදා ගත්තේ අප හැම විටෙක
කඳුලත් සිනහවත් එක ලෙස දැනුන සඳ
යළි නේවිද ඒ කාලය කියන් මට

විටෙක සොහොයුරෙක්‌ මෙන් මගෙ ලඟම සිටි
සබඳ ඔබව දෙවියන් සැම විටම රකී
උහුලන්නට බැරි නම් එක දෙයක්‌ වෙති
මගෙන් ඈත් වී ඔබ යන එකය සකි

දෑස්‌ දී අනේ, සවන් දී අනේ

කෝටියක්‌ දනා - කල්පයක්‌ පුරා
කෝටියක්‌ දනා දුටු මේ ලෝකේ
කල්පයක්‌ පුරා ඇසු මේ ලෝකේ
අන්ධයින් ලෙසින් දුටු මේ ලෝකේ
බිහිරි උන් ලෙසින් ඇසු මේ ලෝකේ
දෑස්‌ දී අනේ සවන් දී අනේ
පුබුදුවනු මැනේ අප හෙළ දීපේ

ඉහල නගින අය දෙව් ලොව දැකගන්නයි
පහල වැටෙන අය පොළොවට පිලිගන්නයි
ඉහල නගින පහල වැටෙන අතර හිඳින අප හැමටම
දෑස්‌ දී අනේ සවන් දී අනේ
පුබුදුවනු මැනේ අප හෙළ දීපේ

සාධු කාර තරමට පින් කරගන්නයි
බාර හාර තරමට උන් රැක දෙන්නයි
සාධු කාර බාර හාර දේව ප්‍රාණ නිති රැකගෙන
දෑස්‌ දී අනේ සවන් දී අනේ
පුබුදුවනු මැනේ අප හෙළ දීපේ

ඔන්න බලන්නකො ඉතින් උදේ පාන්දර මතක්‌ වුන සින්දුව. මොනවා වුනත් ලස්‌සන සින්දුවක්‌, ශක්‌ති සංගීත කන්ඩායම ගායනා කරන්නෙ...

කියනවා වගේම, තමන් ගැන ම පමනක්‌ සිතන්න, තමන්ට අවැසි දේ පමණක්‌ දකින්න පුරුදු වෙලා ඉන්න අන්ධයින්ට දෑස්‌ ලැබුනොත්, තමන්ගේ සිතේ තියෙන අදහසට ගැලපෙන දෑ පමණක්‌ ඇසෙන බිහිරයින්ට සවන් ලැබුනොත්, රටටත් හැකි වේවී පෙරට යන්න.

පැය 3-4න් එනවා කිව්වට, මටත් නින්ද ගියානෙ හොඳටම. තාම නිදි මතයි.
:-D

විවේකයක්‌ අත්‍යවශ්‍යයි

දැන් සෑහෙන වෙලාවක ඉඳලා විනාඩි 15 නෙමෙයි පැයකට එකක්‌වත් ලියවෙනව හොරයි.
බෙල්ලත් රිදෙනවා, මම යනවා පොඩි නින්දක්‌ දාන්න. :-)
පැය 3-4කින් එන්නම්, ඉතුරු ටික දුවන්න.

දැන් දුවන කට්‌ටියටම මෙන්න මගෙන් වතුර පාරක්‌!

ඉක්‌මනින් එන්නම්.